පද වැලක නුවණැස - සිව්වන දිගහැරුම

 ගැඹුරු නින්දක මගේ හදවත

සැඟව ගත් ගිනි පුපුරු අළු යට

ගින්දරින් ගිනියම් නොවුණු හිත

දවාලයි කණමැදිරි එළියට


පෙම් හිතක තනි මකනවද නුඹ

උරුම හදවත සොයනවද නුඹ

ඉඳහිටක නෙතු ගැටෙන නෙතු මත

ආදරේ සුව විඳිනවද නුඹ


යකඩ රෝදෙට ගියා නෑසී

ගැහෙන හිත නුඹෙ රුවෙන් සැනහී

පුරුදු අසුනේ කොනට බර වී

හෙටත් ඉමි මදහසින් සැනහී


පද රචනය - දුලාංජලී අභයරත්න

ගායනය - දුලාංජලී අභයරත්න

සංගීතය - පමල්ක මන්ජිත කරුණානායක


     මම කථිකාචාර්ය රශ්මිකා කටුවාවල. අද ලස්සනට ඉර පායලා තියෙන දීප්තිමත් සෙනසුරාදාවක්. හරියට ම උදේ නවයෙ කණිසමට මට දේශනයක්. මගේ පෞද්ගලික වාහනයෙ ප්‍රශ්නයක් නිසා අද මට පාවිච්චි කරන්න වෙන්නෙ පොදු ප්‍රවාහන සේවය. නවයට තියන දේශනයට නවයට ම යන එක මගේ පුරුද්ද නොවෙන නිසා ම කල් වේලා ඇති ව යන්න කියල හිතාන මතක පිරි මගේ දුම්රිය; ‘ෆවුසිය’ වෙත මම පියමං කළා. 


     සංසාරගත පුරුද්දකට වගේ දෙවැනි පෙට්ටියෙන් නැගලා අන්තිම පෙට්ටිය වෙනකල් ම ඇවිදගෙන ගිය මම හරියට ම දකුණු පැත්තෙ මුහුණට මුහුණ ලා තියෙන අසුන් යුගලවලින් දුම්රිය ඇදෙන දිශාවට සමාන්තර ව තිබුණු තුන්වෙනි අසුනෙ කෙලවරට වෙලා අසුන් ගත්තා. මගේ මතකය නිවැරදි නම් මම මේ දුම්රියේ යන්නෙ හරියට ම අවුරුදු දොළහකට පස්සෙයි මේ. ඒ කියන්නෙ අන්තිමට ම මම ගියෙ උසස් පෙළ පන්තියේ එකෝමත් එක සෙනසුරාදාවක.


     අද මම හුදෙකලාව ම මගේ ගමන මගේ පාඩුවේ ඇවිදගෙන ගියාට මොකෝ එදා නම් මෙතැන මට හුදෙකලාවක් තිබුණේ ම නෑ. ඇයි දන්නවා ද? එදා මම මේ අසුනේ අසුන් ගත්ත වෙලාවෙ ඉදලා තවත් නැවතුම් පොළවල් තුනකින් පසුව ඒ දකින හුරුපුරුදු රුව දකිනකල් හිතේ තිබුණු නොඉවසිලිමත්කම නිසාවෙන්මයි. ඊටත් වඩා ඒ රුව නෙත ගැටුණු මොහොතේ පටන් සතියක් පුරාවට එකතු කරගෙන තිබූ කච කචේ නොනවත්වා ම දිග හැරීමට තිබූ නොසන්සිඳෙන සවිස්තරාත්මක විස්තර ගොන්න නිසාවෙන්මයි. 


“ගැඹුරු නින්දක මගේ හදවත

සැඟව ගත් ගිනි පුපුරු අළු යට

ගින්දරින් ගිනියම් නොවුණු හිත

දවාලයි කණමැදිරි එළියට”

     අද... අසුනේ කෙළවරට හිස තැබූ මට මේ වදන් නිරායාසයෙන් ම මුවගට ආවේ ඇයිදැයි තව ම මම දන්නේ නම් නෑ. දොළොස් වසරකට පෙර වූ දුරාතීත හදවත ගැඹුරු නින්දක නිදි කරවා ඇණ ගැසූ මිනී පෙට්ටියකට දමා ගිනි චිතක ඇවිලූයේ නැවතත් මෙලෙස අවදි කරන්නට නම් නෙවෙයි මම. එනමුත්, චිතක අළු මත්තෙහි සැඟව ගත්තා වූ ගිනි පුපුරු එක දෙකක් මේ දිසෙන්නා වූ කණාමැදිරි එළියටත් ගින්දරින් පවා ගිනියම් නොකරගත්තා වූ මසිත ගිනියම් කර දවාලන්නේ ‘නුඹ තවමත් උගේ ම ය’ කියන්නාක් වාගේ මට ම ඔච්චම් කරමින්. දොළොස් වසරකට පසුවත් අද මට ඒ දුම්රිය නැවතුමේ දී පුරුදු පරිදි විපරම් දෑසින් ඒ රුව සොයා පිටත බැලුණේ නිරායාසයෙන්මයි. කණාමැදිරි එළියට බෑ අඳුරු නිවසක් එකළු කරන්නට. ඉතිං, එත්... ගම රට අතැර මා හැර දමා දුරු රට ගිය නුඹ තවදුරටත් මෙහි නොමැති වග දැන දැනත් ඒ කිසිත් නොදන්නා විලසින් මවිසින් මසිත රවටාලන්නේ තව තවත් ඒ සොදුරු නව යොවුන් මතක අතර කිමිදෙමින්මයි.


“පෙම් හිතක තනි මකනවද නුඹ

උරුම හදවත සොයනවද නුඹ

ඉඳහිටක නෙතු ගැටෙන නෙතු මත

ආදරේ සුව විඳිනවද නුඹ”

     මේ විදියට එදා මම කොච්චර නම් නුඹෙන් අහන්නට ඇති ද? මගෙත් ආලය නොඅඩුව විදිමින් නුඹෙත් ආලය නොඅඩුව ලබමින් මේ අසුන් යුගලයෙහි සතියට දිනක් නොහොත් මසකට සිව් දිනක් ඉඳහිටක ගැටුණා වූ ඒ නෙතු යුගල යුග්මය වෙතින් කෙතරම් නම් නුඹ ආලය විදින්නට ඇති ද? මම ආලය විදින්නට ඇත් ද? “ඉන්න දවසේ ඉන්න මොහොතේ ඉමුකො අපි හරි ආදරෙන්” අද වාගේ මතකයි මෙතැන අසුන් ගෙන නුඹ ඒ වදන් පෙළ මුමුණපු අපූරුව!


“යකඩ රෝදෙට ගියා නෑසී

ගැහෙන හිත නුඹෙ රුවෙන් සැනහී

පුරුදු අසුනේ කොනට බර වී

හෙටත් ඉමි මදහසින් සැනහී”

     එදා අපේ රහස් මිමුණුම් නිසා ම ඇසී නෑසී යන ෆවුසියේ ඩක ඩක හඩ අපේ ආදර කතාවේ මිහිරිත ම තනුව ලෙසටයි මට නම් දැණුනේ. ඒත් අද... යකඩ පීලි මත දිවෙන යකඩ රෝද ගැටෙන්නා වූ ඒ මහා කළකෝලාහල ශබ්දය නිසාවෙන් ම අර මිහිරිත ම පෙම් තනුවේ නටඹුන් පවා වියැකී ගොසින්! මම කියා මොනවා නම් කරන්න ද? තවදුරටත් සියිබර් අවකාශයේවත් මිතුරන් නොවූ නුඹගේ ෆේස්බුක් ගිණුමේ නම සොයා ගිණුම් ඡායාරූපය දෙස ගැහෙන හදින් බලා දුරකතන තිරය ආදරයෙන් පිරිමැද එතුළින් සැනහී පුරුදු අසුනේ කොණට බර වී හෙට දිනත් අද මෙන් ම පුරා සිනහව මැකී ගිය බව ලෝ වෙතින් වසන් කරමින් මන්දස්මිතියකින් මුව සරසා ගනු විනා!

-ප්‍රමූ🤍

ඩී.ජී.ලෝචනා ප්‍රමුදි

Comments

Popular posts from this blog

පද වැලක නුවණැස - පළමු දිගහැරුම

පද වැලක නුවණැස - දෙවන දිගහැරුම

පද වැලක නුවණැස - පස්වන දිගහැරුම